සහරාන් හෂීම් ඇතුළුව ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාදයට අනුව ක්‍රියාකරන මෙරට පුද්ගලයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2019 ජනවාරි මසදී රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බවත් ඒ පිළිබඳ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අය නිසි ක්‍රියාමාර්ග නොගත් බවටත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ අද (17) චෝදනා කළේය.
ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි සලකා බැලූ අවස්ථාවේදීය.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,
"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලකළ සහරාන් හෂීම් ඇතුළුව ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබූ බවට ජනක් ද සිල්වා කොමිසම් වාර්තාවේ සඳහන් කර තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවය මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ 2019 ජනවාරි 31 වැනිදා."
"ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාද මෙරට තුළ ක්‍රියාත්මක කරන පුද්ගලයින්ගේ නම් එම වාර්තාවේ ඇතුළත් වුණා. තොරතුරු සම්භාරයක් ලැබී තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගත් පියවර කුමක්ද? ඊට අමතරව 2018 වසරේ පාකිස්තානු බුද්ධි අංශය ද ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවට මෙරට ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවා තිබුණා."
"මෙතරම් තොරතුරු ලැබී තිබියදීත් සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් කටයුතු නොකළේ ඇයි ?" යනුවෙන් ප්‍රශ්න මතුකළ ජනාධිපති නීතිඥවරයා මෙලෙස වගකීම් විරහිතව ක්‍රියාකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂවරයා වර්තමානයේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
"වරක් එක් නඩුකරයට එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ලබාදී තිබූ දිවුරුම් පෙත්සමක සඳහන් කර තිබුණා 2017 වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා සිට ප්‍රහාරය සිදුවන අවස්ථාව දක්වා සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් සිදූකළ සහ සිදුකිරීමට සූදානම්ව සිටි අන්තවාදී ක්‍රියා පිළිබඳව වාර්තා 97 ක් පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ බව. එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ බවත් එහි සඳහන්."
"ඊට අමතරව මාවනැල්ල බුදුපිළිම ප්‍රහාර සිද්ධිය, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම වැනි සිද්ධීන් සමග සහරාන් සහ අනුගාමිකයන්ගේ සම්බන්ධය අනාවරණ වී තිබුණා. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු වන කෝනාර බණ්ඩාර ඔවුන් සැඟවී සිටින බව සැකකෙරෙන ස්ථාන පිළිබඳවත් තොරතුරු ලබාදී තිබුණා."
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණා නම් පාස්කු ප්‍රහාරය ඇතිවෙන්නේ නැහැ කියා ද එම නිලධාරියා වරක් කොමිසමකදී ප්‍රකාශකර තිබෙනවා." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.
"2019 අපේල් මස 04 වැනිදා ඉන්දීය රෝ බුද්ධි අංශය මෙරටට දැනුම් දී තිබුණා සහරාන් ප්‍රමුඛ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට. මේ පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පිටපත් යොමුකර තිබුණා."
"එම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ කාර්යාලයට යවා තිබෙන්නේ 2019 වසරේ අප්‍රේල් මස 09 වැනිදා. නමුත් එය රවී සෙනවිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නාගහවත්ත වෙත යොමු කර තිබෙන්නේ 2019 වසරේ අපේල් මස 16 වැනිදා. එය නියෝජ්‍ය පොලිස්පතිවරයා අධ්‍යක්ෂවරයා වෙත යවා තිබෙන්නේ අපේල් මස 22 වැනිදා. ඒ කියන්නේ ප්‍රහාරය එල්ල වී පසුදා."
"මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ජනක් ද සිල්වා කොමිසමට ප්‍රකාශයක් ලබාදී තිබුණා. ඔහු සඳහන් කර තිබුණා සම්මන්ත්‍රණයක් සඳහා තමා 2019 අපේල් 07 වැනිදා දිවයිනෙන් බැහැරව ගොස් යලි ශ්‍රී ලංකාවට පැමිණියේ අපේල් 13 වැනිදා බවට. යළි සේවයට වාර්තා කළේ අප්‍රේල් මස 16 වැනිදා බවත් ඔහු සඳහන් කර තිබුණා. එම ලිපිය රවී සෙනවිරත්න මහතාගේ කාර්යාලයෙන් පිටතට ගොස් තිබෙන්නේ 19 වැනිදා."
"එම ලිපියේ සඳහන් සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වන විටත් දැන සිටි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 'මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගත හැකි පියවරක් නැහැ ස්වාමීනී' යනුවෙන් රවී සෙනවිරත්න මහතා කොමිසම හමුවේ ප්‍රකාශකර තිබුණා" යනුවෙන් චෝදනා කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙවැනි පුද්ගලයින් පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබඳව වර්තමාන පරීක්ෂණය සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
පෙත්සම වැඩිදුර සලකාබැලීම ලබන 21 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.
