ජාතික සුපිළිපන් සතියට සමගාමීව වෙළඳපොළේ පවතින පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද (28) දිනයේ ක්‍රියාත්මක කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය පවසයි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළේ මෙම විශේෂ වැඩසටහන අද දින පිටකොටුව පොදු වෙළඳපළ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.
මෙහිදී වෙළඳපොළේ විකිණීමට ඇති ආහාර ද්‍රව්‍ය, විදුලි උපකරණ මෙන්ම සෙල්ලම් බඩු ආදී පාරිභෝගික භාණ්ඩ නියමිත ප්‍රමිතීන්ට අනුකූලව පවතින්නේද යන්න පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.
විශේෂයෙන්ම පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍යවල මිනිස් සිරුරට අහිතකර වස විස අඩංගු වී තිබේද යන්න පිළිබඳව සොයා බැලීම ද මෙහි ප්‍රධාන අරමුණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ප්‍රමිති පරීක්ෂා කිරීමේ වැඩසටහන සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) ඇතුළු ඊට අදාළ අනෙකුත් ආයතනවල නිලධාරීන් ද එක්වීමට නියමිතය.
එහිදී භාණ්ඩවල තත්ත්වය පිළිබඳව පාරිභෝගික ජනතාව ඍජුවම දැනුවත් කිරීමට පියවර ගන්නා අතර, වෙළඳාම් කටයුතුවල නිරත ව්‍යාපාරිකයින් සහ ඊට සම්බන්ධ ව්‍යවසායකයින් දැනුවත් කිරීමටද කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා,
"විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය, ඒ වගේම ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, ඒ වගේම සෙල්ලම් බඩු හැම එකකම ප්‍රමිතිය තියෙනවද කියලා බැලීම තමයි එකක් කරන්නේ. එතනදී අපි බලාපොරොත්තු වෙනවා ආහාරවල වස විස තියෙනවද කියලා සහ අනිකුත් භාණ්ඩ වල ප්‍රමිතිය ඒ පිළිවෙලට තියෙනවද කියලා බැලීම සඳහා අපේ අමාත්‍යාංශය යටතේ පවතින SLS ආයතනයත්, ITI ආයතනයත් ඇතුළු අනෙකුත් අපිට අදාල ආයතන සියල්ලම සමග අපිට කොටුවට යනවා. පිටකොටුවට ගිහිල්ලා එතනින් ඒවල තියෙන තත්ත්වය පිළිබඳ දැනුමක් අපි ජනතාවට ලබා දෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා වෙළඳාම කරන අයත්, ඒ වගේම ඒවට අදාල වෙන ව්‍යවසායකයින්වත් ඒගොල්ලන්වත් දැනුවත් කරන්න."
