”පෙර පාසල් ක්ෂේත්‍රයේ කිසිවකු බැහැර නොකර ඔවුන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරන්න රජය කටයුතු කරනවා”


 අවිධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන රටාව වෙනස් කරමින්, ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා වෘත්තිකභාවය ඉහළ නැංවීමට රජය සෘජුව මැදිහත් වන බවත්, පෙර පාසල් ක්ෂේත්‍රයේ සිටින කිසිවකු බැහැර නොකර ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කරන්න රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන 2026 ජාතික මුල් ළමා විය රැකවරණ හා සංවර්ධන සතියේ තෙවන දිනය සනිටුහන් කරමින්, මුල් ළමාවිය ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (16) පැවැති ජාතික වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පෙර පාසල් ගුරුභවතුන් 600 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහනේදී, පෙර පාසල් දරුවාගේ සමාජ හා චිත්තවේග සංවර්ධනය සහ සමාජානුයෝජනය සඳහා අවශ්‍ය පෝෂක පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් ගුරුවරුන් හා රැකබලා ගන්නන් සතු කාර්යභාරය පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

දරුවෙකුගේ අනාගතය, පෞරුෂය සහ ලෝකය දකින ආකාරය තීරණය වන වඩාත්ම තීරණාත්මක අවධිය මුල් ළමාවියයි. දැනට පවතින ඇතැම් අසංවිධාත්මක හා අවිධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන රටාව වෙනස් කරමින්, ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා වෘත්තිකභාවය ඉහළ නැංවීමට රජය සෘජුව මැදිහත් වනවා. පූර්ව ළමාවිය අධ්‍යාපනය සියලුම දරුවන්ට අනිවාර්ය විය යුතු වගේම එය අධ්‍යාපන ක්‍රියාවලියේ පළමු අදියර ලෙස හඳුනාගෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන්න මේ වනවිට ක⁣ටයුතු කරමින් තිබෙනවා. මෙහිදී දැනට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ පෙර පාසල් පවත්වාගෙන යන කිසිදු ගුරුවරියක් ඉවත් කරන්න රජය කිසි විටක කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට සමාන සුදුසුකම් සහිත පිළිගත් වෘත්තිකයෙක් බවට පත්කරන්න අවශ්‍ය කටයුතු රජය විසින් සිදු කරනවා.

විශේෂයෙන්ම ආබාධ සහිත සහ ‘නියුරෝඩයිවර්ජන්ස්’ (Neurodivergence) හෙවත් විවිධ ඉගෙනුම් වේගයන් හා මානසික විවිධත්වයන් සහිත දරුවන් පොදු සමාජ ක්‍රියාවලියට අන්තර්ග්‍රහණය කරගැනීම ඉතාම වැදගත්. ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

දරුවන් සිටින ස්ථානවල වැසිකිළි හා සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික යටිතල පහසුකම් නිසි ලෙස නොමැතිවීම ඛේදවාචකයක්, එම අඩුපාඩු නිවැරදි කිරීමට වගේම අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න රජය කටයුතු කරනවා.

විවිධ බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ පෙර පාසල් ගුරුවරියන් සහ පාලිකාවන් ඉටුකරන සේවය අගය කළ යුතුයි, රජය පෙර පාසල් ගුරුවරියන්ගේ සහ පාලිකාවන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවන බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී ප්‍රකාශ කළාය.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්,

දරුවෙකුගේ ජීවිතයේ පළමු වසර පහ තුළ මොළයේ වර්ධනයෙන් සියයට අනුවක්ම (90%) සිදුවනවා. එම කාලය තුළ ලබාදෙන අත්දැකීම් සහ කුසලතා වැඩිහිටියෙකු වූ පසු ඔවුන්ගේ ජීවිතය තීරණය කරන පදනම බවට පත්වනවා. ඛලීල් ජිබ්‍රාන් කවියාගේ කවියක තිබෙනවා, දරුවන් අනාගත ලෝකයට අයිති බැවින් ඔවුන් නිසි ඉලක්ක කරා යොමු කිරීමට නම් වැඩිහිටියන් නම්‍යශීලී විය යුතු කියලා. එසේම, මෙතෙක් කල් රජයේ නිශ්චිත ව්‍යුහයකට ඇතුළත් නොවී ස්වයං රැකියාවක් ලෙස පැවති පෙර පාසල් සේවාව, රජය වගකියන නිශ්චිත වෘත්තීය රාමුවක් සහිත “සංවෘත සේවාවක්” බවට පත්කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. මේ සේවාව ඔබ විසින් ආරම්භ කරලා ඔබ විසින්ම අවසන් කරන වෘත්තීය සේවාවක් බවට පත්වෙලා තිබෙනවා මිසක මේක රජය විසින් පවරන එහෙම නැත්නම් පත්වීම් ප්‍රදානය කරන, පත්වීම් බලධරයෙක් ඉන්න නිශ්චිත වෘත්තිය ක්ෂේත්‍රයක් බවට පත්වෙලා නැහැ. ඒ වගේම සේවය අවසන් කිරීමේදී ඔබ කිසිවකුගේ සේවය අත්හිටුවීමට හෝ විශ්‍රාම ගැනීමට හෝ කිසිවෙක් කටයුතු කරන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙලා ගුරු සෙවාව වගේම රජයේ පිළිගත් වෘත්තිකයින් පිරිසක් බවට ඔබව පත් කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙනවා. දැනට ක්ෂේත්‍රයේ සිටින කිසිවකු බැහැර නොකර ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කරන බවටද අමාත්‍යවරිය මෙහිදී සහතික වූවාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු විදේශීය තනාපතිවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය නියෝජනය කරන උසස් නිලධාරීන් මෙන්ම දිවයින පුරා විසිරී සිටින පෙර පාසල් ගුරුභවතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.


Post a Comment

Previous Post Next Post