රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් ව්‍යාජ ලෙස අලවා තිබූ මත්පැන් බෝතල් 5,575ක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව පසුගිය 14 වැනිදා සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර ඇත.
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී, වයස අවුරුදු 43ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ව්‍යාජ මත්පැන් බෝතල් 5,575ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම ව්‍යාජ මත්පැන් බෝතල්වල රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් අලවා තිබූ බවයි. ඒ අනුව එම ස්ටිකර් නීත්‍යානුකූලව නිකුත් කළ ඒවාද, නැතහොත් නීතිවිරෝධී ලෙස ලබාගත් ඒවාද යන්න පිළිබඳව විමර්ශන අංශ පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම සිද්ධියට පෙර පසුගිය ජුනි 28 වැනිදා මාළඹේ ප්‍රදේශයේදී අනාවරණය වූ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය සම්බන්ධ විමර්ශනවලදීද, මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත බදු ස්ටිකර් ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ මුද්‍රණය කර මෙරට නියෝජිතයෙකු වෙත ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කළ එතනෝල් ලබාගැනීමේදී දේශපාලන සම්බන්ධතා තිබිය හැකි බවටද විමර්ශන අංශ සැක පළ කරන අතර, ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.
රජයට හිමි බදු ආදායම ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී මත්පැන් වෙළෙඳාම පාලනය කිරීමේ අරමුණින් මත්පැන් බෝතල් සඳහා රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් ක්‍රමවේදය 2016 වසරේ සිට ක්‍රියාත්මක කෙරේ.
